නින්දගං අතැර යන මිනිසා ගෙන්දගං වළාකුළු නොතකයි නින්නාද නැගුවාට තබන පියවර ලකුණු යන්තමින්වත් හැරී නොබලයි..” එය සැබෑවකි. ජෝ සෙනෙවිරත්නයන...
නින්දගං අතැර යන මිනිසා
ගෙන්දගං වළාකුළු නොතකයි
නින්නාද නැගුවාට
තබන පියවර ලකුණු
යන්තමින්වත් හැරී නොබලයි..”
එය සැබෑවකි. ජෝ සෙනෙවිරත්නයන් නින්නාද නැගූ නමුත් තබන පියවර ලකුණු යන්තමින්වත් හැරී නොබැලූ මනුෂ්‍යයෙකි. පෙබරවාරිය කොළ හැළෙන මතකයක් ම බවට පත් කරමින්, ශ්‍රී ලාංකේය පාඨකයා වෙත ඕෂෝ හඳුන්වා දුන් අග්‍රගණ්‍ය පරිවර්තකයා වශයෙන් බොහෝ දෙනෙක් දන්නා දයාබර ‘ජෝ‘ හෙවත් ජෝ සෙනෙවිරත්නයන් ඊයේ (24) අවසන් ගමන් (නො)ගියේ එසේ ය.
ජෝගේ නිසල සිරුර වෙත එක්රොක් වූවෝ ඔහු විසින් දායාද කළ යුග ගණන් උරුමයක නිහඬ සාක්ෂිකරුවෝ වූහ. ජෝ නිහඬ අරගලකරුවෙකි. හැටේ දශකයේදී කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයට අත්පොත් තැබූ ජෝ, 71 කැරැල්ලෙන් පසු කොමියුනිස්ට් පක්ෂය විසින් පළ කළ ‘නිර්ධනයා’ පුවත්පතට ලිපි ලීවේය. ඉන්පසුව කේරි විද්‍යාලයේ ගුරුවරයෙකු බවට පත් වී පසුව දුම්රිය හා විදුලි සංදේශ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකයෙකු බවට පත්විය. 76 මහා වැඩ වර්ජනයේදී සක්‍රිය දායකත්වයක් දුන් හෙතෙම හැත්තෑව දශකයේ මැද භාගයේ සිට 89 වසර දක්වා ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය තුළ EPRLF සංවිධානයේ දේශපාලන ක්‍රියාධරයෙක් බවට පත්විය. 80 දශකයේදී විශ්ව විද්‍යාලවල ස්වාධීන ශිෂ්‍ය සංගම් බිහිකිරීමට මැදිහත් වූ ඔහු, 87 වසරේදී රාජ්‍ය විරෝධියෙකු ලෙස චෝදනා ලබා වසරක් සිරබත් කෑවේය. සිරෙන් නිදහස් වූ ජෝ, 88-90 අතර කාලයේ උතුරු නැගෙනහිර පළාත් සභාවේ පළමු සිංහල අමාත්‍යවරයා බවට පත්වූයේ ජාතීන් අතර සංහිඳියාව ඔහුගේ සිහිනය වූ නිසා ය. සුදු නෙළුම් ව්‍යාපාරය, යුක්තිය පත්තරය ඔහුගේ දේශපාලන ජීවිතයේ අත්හළ නොහැකි මංසන්ධි විය. මේ සියල්ලෙන්ම ප්‍රකට වූ ජෝ නමැති අරගලකරුවා සම්බන්ධයෙන් කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳිය පවසන්නේ ‘අරගලය කියන්නෙම ආදරය’ යනුවෙනි.
අති විශිෂ්ට පරිවර්තකයෙකු වූ ජෝ සෙනෙවිරත්නයන්, ඕෂෝ සංවාද ලාංකීය සිංහල පාඨකයා වෙත දායාද කළ අමිල වෘක්ෂය සේ සදහටම ඉතිහාසගත වෙයි. ඔහු තුළ සිටි දේශපාලනික අරගලකරුවා අධ්‍යාත්මිකවාදියෙක් ලෙසට කෙමෙන් පරිවර්තනය වූ ආකාරයට, ඔහු අතින් පරිවර්තනය වූ 80කට ආසන්න වූ පරිවර්තන පොත් සංඛ්‍යාව දෙස් දෙයි. ජෝ පැතූ ලෝකය අරාජික දේශපාලන ගොහොරුවක් තුළ සිට සාක්ෂාත් කරගත හැකිද යන පැනය ඔහු විසින් සමාජය ඉදිරියේ තබා ගියාට සැක නැත.
‘පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොකැඩී’ යනුවෙන් සමබිම වෙත ලිපියක් ලියන ජෝ, 2011 දී මෙසේ කීවේය. “... හුදු ආගමික අනන්‍යතා ඉක්මවා ගිය ආගමිකභාවයක ඇති අවශ්‍යතාවය පෙරට ගත යුතු යැයි මම අවධාරණය කරමි. කුමන ආගමක වුවත්, මිනිසා බෙදා වෙන් කිරීමට මහා අගල් හාරනවා නම්, වෙනස් විශ්වාස පද්ධතියක් හේතුකොටගෙන අනෙකා සතුරු කොටගන්නවා නම් ඒ සියලු ‘ආගම්‘ තවදුරටත් ආගමික වීම අත්හැර ඇති බව මගේ හැඟීමයි. ඒ ආගම්වලට උපත දුන් ඒ උදාර ශාස්තෲවරුන් දැන හෝ නොදැන ඝාතනය කිරීමයි. සෑම මනුෂ්‍යයෙකුටම වෙනසක් නැතිව ප්‍රේම කළ නොහැකි ආගමක් අද සිය අනුගාමිකයන්ට ඉතිරි කරන්නේ ‘ආගම’ යැයි හඳුන්වන අඳුරු සිරගෙවල් ය.”
2016 වසරේදී එළිදුටු ‘ඕෂෝ, මාක්ස් සහ බුදුන් අතිනත ගෙන” යන කෘතියේදී ජෝ මෙසේ කියයි. “ශරීරය ගැන පමණක් විශ්වාස කරන මිනිහෙක් අර්ධයක් පමණයි. අධ්‍යාත්මය ගැන පමණක් විශ්වාස කරන මිනිසෙක් යනුත් අර්ධයක් පමණයි. බුද්ධ සහ මාක්ස් අතිනත ගෙන නර්තනයේ යෙදෙන්න ඕනේ.. ඒකයි මගේ විප්ලවය...!”
නිහඬ විප්ලවකරුවාණෙනි, ඔබ නොවැරදීම නැවත එන්න!!
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න
COMMENTS